70 වන නිදහස් සැමරුම අදට යෙදී තියෙනවා.

පෙබරවාරි 04 වෙනිදා වෙනකම් සියවස් හතරහමාරක් විජාතිකයින් යැයි කියාගන්න පෘතුගීසි, ලන්දේසී, ඉංග්‍රීසින්ට යටත්වෙලා ඉදල අන්තිමට හිටපු සුද්දගෙන් නිදහස හම්බවෙච්ච එක සමරන දවසලු. ඕක තව පොඩ්ඩක් ගැම්මට කිවුවොත් සුද්දගෙ යකඩ සපත්තුවට පෑගිලා හිටපු ශ්‍රී ලාංකිකයො උන්ගෙන් නිදහස් වෙච්ච දවස අභිමානයෙන් සමරන දවස.

 

හැබෑටම ඔන්න ඔය අභිමානය කියන වචනෙ සිංහල අර්ථය සොයාගෙන යද්දී ඕක ආඩම්බරකමට වඩා ටිකක් විතර එහා යන බර වචනයක්. අවමානය කියන එක නම් හැමෝම දන්නවනෙ. නිකමට හිතන්නකො ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙ 70 වෙනි අභිමානවත් නිදහස් දිනය සමරන්න එංගන්තයෙන් එන ඇඩ්වඩ් ආදිපාදවරයයි එයාගෙ භාරියාවයි ඉස්සර කරගෙන අපේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි, මැති ඇමති සෙට් එකයි, රාජ්‍ය තාන්ත්‍රික සේනාවයි වාඩිවෙලා ඉන්න තැනකට විද්‍යාපීඨෙක වගේ ගුරුවරියො සෙට් එකක් ලැප්ටොප් ටිකක් උඩදාගෙන නැටුමක් රැඟුව නම් වගේ එහෙම කොහොමට තියේවිද නේද? නිකම් හිතළුවක් වගේ උදාහරණයක් ගන්න ඕනවට කිවුවට අර මහා ප්‍රභූන් ඉස්සරහා එහෙම එකක් වුණා නම් අන්න කියන්න තිබුණා මහා නව නිංගිරාවක් අවමානයක් වුණා කියල.

ඉතින් කොහොමෙන් කොහොම හරි අපේ රටේ සම්පත් ටික හූරාගෙන කාලා, අපේ තිබුණ පෞඩ සංස්කෘතිය කාබාසිනියා කරල දාලා, ගෙරිමස් කන එකයි, අරක්කු බොන එකයි, සිගරැට් බොන එකයි අපිට පුරුදු කළා මදිවට, අපේ අත්තලාගෙ සරමයි අමුඩෙයි ගලෝලා කකුල් දෙකටම කලිසම් අන්දෝපු පර සුද්දො එහෙමත් නැත්නම් සුදු උත්තමයො අපිට නිදහස දුන්න එක සමරන දවස. තව විදියකින් කියනව නම් අපේ ආත්තම්මලාගේ ලොට තන් වැහෙන්න බොඩි අන්දවල, පියානා, සර්පිනා තාල උගන්නල, උඩින් පුඩින්, කේක් අරව මෙව්ව හදන හැටි උගන්නල, ඒවා ගෑරුප්පුවෙන් කන හැටිත් උගන්නලා වසර දෙදාස් ගාණක් පරණවෙලා තිබුණ හෙළ කතුන්ගේ අභිමානවත් පතිවත කෙළසලා දාලා ගියපු දවස අද.

අපේ විතරක් නෙවෙයි අල්ලපු රටේ ඉන්දියාවෙත් මේ වගේම සම්පත් ටිකයි, පිරිමි ටිකයි,ගෑනු ටිකයි හූරන් කාලා ඒ මදිවට අච්චර යසට තිබුණ ඉන්දියාව නැත්නම් භාරත මාතාව, පකිස්ථානයයි, බංගලිදේශයයි විදියට කැඩිල බෙදිල යන්න වැඩෙත් කරා. හැබැයි ඉන්දියාවෙ හිටපු මහත්මා ගාන්ධිලා, නේරුලා වගේ ගොබ්බ ජන නායකයෝ ලේ හලලා, ජීවිත පූජා කරල උන්ගෙ නිදහස දිනාගනිද්දී අපි නම් එහෙම නෙවෙයි. තර්කයෙන්, අර්ථයෙන්, ධර්මයෙන් සුද්දාව මානසිකව වට්ටලා සුද්දා විසින්ම අපිට දෙන තෑග්ගක් විදියටයි නිදහස ලබාගත්තෙ!

හේරත් බණ්ඩාට, එතන හාමිට, මුතුගල්පේඩිගෙ කිරිනයිදෙට, බින්තැන්නෙ රනීල වගේ දේශීය ගොබ්බපාලලා, ගොබ්බවතීලට නොවෙයි ඕන් ගැලපෙනම මිනිස්සු ටිකට මේ රට පාලනය කරපල්ලා කියල බාරදීලයි සුද්දා ගියේ!

අදටත් ගොංගාලෙ ගොඩ බණ්ඩල, පුරන් අප්පුල, කැප්පෙට්ටිපොළල මිහිදන් කරපු වළවල්වලින් නැගිටලා සුද්දාට පිං දෙනව ඒ කරපු උදවුවට. දොන් ස්ටෙෆාන් සේනානායකල, සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකල, ජූනියස් රිචඩ් ජයවර්ධනලා වගේ හෙළ පරපුරෙන් එන, අපේ සංස්කෘතියයි, ආර්ථිකෙයි සම සමව ගෙනියන්න පුළුවන් උත්තමයොන්ට රට බාරදීලා ගියපු නිසා වසර 70ක් සපිරෙන 2018 වර්ෂය වෙනකොට අපි ලෝකයේ මාර දියුණු ජාතියක්.

කොච්චර දියුණුද කියනව නම් සුද්දාගෙ රටේ පවුමක් අරගන්න අපි රුපියල් 216 ක් වියදම් කරන්න තරම් පොහොසත් රටක්. අපේ රටේ දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට 90% ක් විතර ලෝකෙටම ණය ජාතියක්. කට කහනවට වගේ කියන්නම ඕන දෙයක් තමයි සුද්දා අපිට පාරවල් ටිකක් හදල දුන්න. උන්ගෙ තේ ටිකයි, කෝපි ටිකයි එහාට මෙහාට ගෙනියන්න ලේසි වෙන්න කියල අපේ එවුන් තියෙන කුප්පීදුකමට කිවුවට මොකද සුද්දා හදපු පාරවල් ටිකයි, රේල් පාරවල් ටිකටයි පිං සිද්ධවෙන්න ඕන් අපි දෙයියනේ කියල නිදහසේ කන්ද උඩරටට යනව එනව.

මේ රට කොච්චර නිදහස් රටක්ද කියනව නම් දවසකට නීති විරෝධී ගබ්සාවක් 800-1000ක් විතර වෙනවලු. කොළඹ විතරක් ලිංගික ශ්‍රමයෙ යෙදෙන කාන්තාවො 40.000 ක් ඉන්නවයි කියන්නෙ. එහෙම බලන් ගියාම ලිංගිකත්වයයි, ලිංගික ප්‍රකාශනයයි හරි නිදහසේ කියාගන්න, කොරගන්න රටක් නෙව මේක.

හැබැයි එක අතකට ඕවා බොරු කියල හිතෙන්නෙ දවසකට වයස 14ට අඩු දියණිවරුන් 3 දෙනෙක් දූෂණය වෙනවයි කියල සමාජ විද්‍යා ආචාරවරියො සාරිවලින් කඳුළු පිහිද පිහිද කියනව දැක්කම. කාන්තා අයිතිවාසිකම්වලට වැඩකරන මානව හිමිකම් නෝනලා කියල විදියට මේක ගෑනුන්ට ජීවත්වෙන්න පුළුවන් නිදහසක් තියෙන රටක් නම් නෙවෙයි. ඇයි හැම විනාඩියකටම වාරයක් ගෑනියෙක් දූෂණය වෙන්න සම්භාවිතාවක් තියෙන රටක්ලුනෙ මේක. කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද දන්නෙ නැහැ ඕන්.

හැබැයි අපි කොච්චර නිදහස්ද කියල හිතෙන්නේ සුද්දානෙ අපේ දණ්ඩ නීති සංග්‍රහය හැදුවෙ. 1883 දී මැකොලේ කියන සුදු සාමිවරයෙක් තමයි ඕක ලිවුවෙ. ඕකෙ 365 වගන්තියේ උන්නැහේ ලියල තියෙනවනෙ අපි සත්තුත් එක්කත් ලිංගිකව හැසිරෙන ජාතියක්ය කියල. අවුරුදු 135 ක් පරණ ඕක වෙනස්කරන්න හැදුවම පාර්ලිමේන්තුවෙ ඉන්න උත්තමයො ටික දත් විලිස්සන්නෙ සත්තුත් එක්කත් නිදහසේ කරන්න තියෙන එක වෙනස්කරලා අපේ අභිමානය කෙලෙසන්න හදන නිසා වෙන්නැති. එහෙම බලනකොට මානව හිමිකම් කියල අටෝගෙන ඉන්න සංවිධානවලට එවුන්ට පිස්සු. ඕකෙම තියෙනවා තව කොටසක් අපි සොබා ධර්මෙට එරෙහිව කාමුක සංසර්ගෙ කළොත් කසපහරට ලක්වෙනව කියල. අනේ මන්ද සුද්දා එන්න කලිනුත්, සමහර පළාත්වල තාමත් සොබා ධර්මෙ දිහා බලාගෙන සුළුදිය පහකරපු, නොම්මර දෙකේ වැඩේ කරපු අපේ මිනිස්සුන්ට අවුට්ඩෝර් සෙක්ස් එකේ ලල් එක ගන්න එක තහනම් කරන්න නීති හදපු සුද්දා හැඳිගෑවිලා යන්න කියල නිදහස් දවසෙ එකතුවෙලා පතන්න පුළුවන් නම් අන්න එතනයි නිදහස.

තව කියනව නම් නිදහසේ සියදිවි හානිකරගැනීමන් එහෙමත් නැතිනම් ඉළුක් තෙල් ගහලා කැලේ රිංගන, එල්ලිලා මැරෙන මිනිස්සු ඉන්න ලෝකෙ අංක එකේ රට අපි. නිදහස ගැන තව මොන කතාද පිට පිට අවුරුදු තුනක්ම අන්තර්ජාලයේ සෙක්ස් හොයල ලෝකෙන්ම රන් පදක්කම නිදහසේ දිනාගත්ත අභිමානවත් රටක් අපි. මේ මෑතකදී එන්රිකේද කවුද ගායකයෙක් මූණටම වැදියන් කියල නිදහසේ බොඩිය වීසි කරපු අපේ කුල කාන්තාවකට මඩු වලිගෙන් පාර දෙන්න ඕන කියල ජනාධිපතිත් කියල තිබුණ. සුද්දා හදල දීපු ආණ්ඩුක්‍රමයි, එකා එකා කොටෝ ගනිල්ල කියල සුද්ද හදල දීපු පරිපාලන ක්‍රමයි, ඉඩම් පණත්, අණ පණත් දාලා සුද්දා අපිව මෙච්චල් කරල ගියපු විදියයි, සිංහල, දෙමළ, මුස්ලිම් කියල කොටෝගන්න හදල ගියපු ජාතිවාදයටයි පිං සිද්දවෙන්න පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එකට අමු අමුවෙ මහදවාලෙ මහබැංකුව පවා සුද්ධ කරන්න තරම් නිදහසක් දීලා තියෙන මැටි මැජර ජනතාවක් ඉන්නකම් පාලකයාට හැමදාම නිදහස් දවසක් තමයි.

රටට අක්කර 500ක්ද කොහෙද අලුතින් එකතුවෙන වරාය ගනගරය පැත්තෙන් එන සිහිල් සුළඟ විඳගෙන, ෂැංග්‍රිලා හෝටලේ පැත්තෙන් එන රෝස්ට් චිකන්, පස්තෑල අරවා මෙව්වා හිමකිරම පුසුඹත් විඳිමින් රණවිරුවොයි, පාසල් ළමයි ටිකයි ගෝල්ෆේස් පිට්ටනියෙ බොම්බිලි කරෝල ගාණට වේලෙනව දකිනනොට සුද්දට නම් හිතෙනව ඇති ආයිබෝවන් ඇති යන්තම් අම්මේ අපි මුන්ගෙන් නිදහස් වුණා කියල!

බාහුං සහස්ස මබිලින් කියල, දේවෝ වස්සතුකාලේනත් කියල අහවර වෙත්දී මතක් වුණෝතින් මෙලෝ හත්තලාමක් නොදැන 1948 පෙබරවාරි 04 වෙනිදා එළිවෙනකොට ඔන්න උඹලා නිදහස් කියල සුද්දා අකුලෝගෙන ගියා මිසක ලැබිච්ච ලබු ඇටයක් නෑ කියල, අන්න ඒකයි නිදහස. මතක් වෙනව නන්දා මාලිනිය මෙහෙම කියනවා.

මාස්ටර් බයිලා අපි ගෙතු රස කරලා
ඇහිද ගනිල්ලා මේවා නිදහල් බයිලා
කතරට සහරා ගලන ලෙස රස දහරා
එලි සම නොමරා ගයමු නිදහස සමරා

නිදහස ලැබුනා මල්ලි නිදහස ලැබුනා..
තලු මරන්නට මිහිරි අකුරු හතරක් ලැබුනා
ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
එලිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා

කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ…
ලණුව සුද්දගේ උනත් කොඩි ගහ අපගේ
නෑ බැට කෑවේ නේරු පාටෙල් වාගේ
නෑ දිවි දුන්නේ මහත්මා ගාන්ධි වාගේ

ලේ හැලුනේ නෑ සුද්දා තරහා වුනේ නෑ
යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
අදත් බොමු ඒ නිදහස් පානේ සුමිහිරි
තවත් සුමිහිරි අද ඒ පානේ සුමිහිරි…

සිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
බයිලා කියා පුද දෙමු අප ස්වෛරී සිරි ලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැළ…………….

– තුෂාර මනෝජ්

SHARE