ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය පිහිටුවීමේ කටයුත්ත පසුගිය සඳුදා යක්කල දී සිදුකෙරුණේ ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි. ප්‍රසන්න සමඟ ඩුලිප් විජේසේකරත් මෙරිල් පෙරේරා, ලක්ෂ්මන් ගුණවර්ධන, සහන් ප්‍රදීප්, ආනන්ද හරිශ්චන්ද්‍ර යන පළාත් සභා මන්ත්‍රීවරු මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙහිදී ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය තීන්දු කළේ ඉදිරි පළාත් සභා මැතිවරණයට ද අනිවාර්යෙන්ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින්ම තරග කළ යුතු බවය. ඒ අනුව එම ඉල්ලීම මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් වෙත දන්වා යැවීමට තීරණය කෙරිණි.

“රනිල් මෛත්‍රී දෙන්නම දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. කවුරු හරි මෛත්‍රී ආයෙත් ජනාධිපති කරලා රනිල් අගමැති පුටුවේ ඉන්දවන්න යනවා නම් ඒවා මේ කපේට වෙන්නේ නැහැ. අපිට එහෙම දෙයකට ඉඩ තියන්නත් බැහැ. අපි ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ජනතාවත් විරුද්ධයි. මහින්ද මහත්තයාගේ ආශිර්වාදය තියෙන පොහොට්ටුවේ කෙනෙක් තමයි මීළඟ ජනාධිපති විය යුත්තේ” ප්‍රසන්න පැවසීය.

“ඉදිරි ජනාධිපතිවරණයට වගේම පළාත් සභා මැතිවරණයටත් අපි තරග කරන්න ඕනේ පොහොට්ටුවෙන්. අපි එහෙම තරග කළොත් අපිට පළාත් සභා සේරම දිනන්න පුළුවන්” මෙරිල් පැවසීය.

“ඒක ඇත්ත. දැන් අපිට වේදිකාවක් තියෙනවා. අපි ආයෙත් එතැනින් බැහැලා බුලත් කොළේට හරි, අත ලකුණට හරි එකතු වෙන්න ඕනේ නැහැ” සහන් කීවේය.

“ඔව් දැන් මිනිස්සු ඉල්ලන්නේ පොහොට්ටුව මිසක් අතවත් බුලත් කොළේවත් නෙමේ. අලුත්ම පක්ෂයක් වුණාට දැනටමත් අපිට ලක්ෂ පනහකට වැඩි ඡන්ද ප්‍රමාණයක් තියෙනවා” ප්‍රසන්න පෙන්වා දුන්නේය.

“මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපිට පොහොට්ටුවෙන් තරග කරලා පළාත් සභා විතරක් නෙමෙයි අනෙක් ඕනෑම මැතිවරණයක් දිනන්න පුළුවන් කියලා පහුගිය පළාත් පාලන මැතිවරණයේ දී පැහැදිලිවම ඔප්පු වුණා” ආනන්ද පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පසුගිය අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේ දී රැස්විණි. එහිදී විශේෂයෙන්ම සාකච්ඡාවට ලක්කෙරුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පිළිබඳවය.

“ආණ්ඩු විරෝධී බලවේගය ශක්තිමත් කරන්න මේ 16 දෙනා අපිට වැදගත්. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තියෙන තුනෙන් දෙකක බලය අහිමි කරන්න නම් අපිට මේ අය එකතු කරගන්න වෙනවා” දිනේෂ් පෙන්වා දුන්නේය.

“අපිට 16 කණ්ඩායම එක්ක වැඩ කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අපිට මේ 16 කණ්ඩායමේ අවංකභාවය පැහැදිලි වෙන්න ‍ඕනේ. ඒ අය අපේ පැත්තට එනවා නම් මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිඅරන් එන්න ඕනේ. එහෙම නැතුව අපේ පැත්තේ ඉඳගෙන මෛත්‍රී මහත්තයාගේ නායකත්වයෙන් වැඩ කරන්න ගියොත් ඒක ගැටලුවක් වෙනවා” ප්‍රසන්න පෙන්වා දුන්නේය.

“16 කණ්ඩායම ඉන්නෙත් විපක්ෂයේ. අපි ඉන්නෙත් විපක්ෂයේ. ඒ හින්දා අපි දෙගොල්ලන්ට එකතු වීම ගැටලුවක් නෙමෙයි. හැබැයි අපේ පැත්තට එනවා නම් ඒ අය මේ සටන හරියට හඳුනා ගන්න ඕනේ” ඩලස් පැවසීය.

“අපිත් එක්ක එකතු වෙන්න ඕනේ නම් මෙයාලා 16 කණ්ඩායම් විදියට ඉන්නේ නැතුව අඩුගාණේ ඒකාබද්ධ විපක්ෂය එක්කවත් ඉන්න ඕනේ” රංජිත් සොයිසා පැවසීය.

“පහුගිය දවසක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරයට සුදර්ශනී මන්ත්‍රීතුමිය පත් කරන්න හදපු වෙලාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ මන්ත්‍රීවරුන් කණ්ඩායමට නිදහසේ තීන්දුවක් ගන්න මහින්ද මහත්තයා ඉඩදුන්නා. ඒ අනුවයි අපි ඡන්දෙ නොදී ඉන්න තීරණය කළේ. නමුත් මේ කාරණය ගැන වැරැදි අදහසක් තමයි එළියට ගිහින් තිබුණේ. අපි තීන්දුවක් ගත්තේ කණ්ඩායමක් විදියටයි” නිමල් ලන්සා පැහැදිලි කළේය.

“සුදර්ශනීගේ ප්‍රශ්න‍යේ දී මාධ්‍යවල වැරැදි අදහස් ගණනාවක් පළ වෙලා තිබුණා. මහින්ද මහත්තයා මට බැන්නා කියලත් ගිහින් තිබුණා. එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. අපි ඒ තීන්දුව ගත්තේ මහින්ද මහත්තයාගෙත් අවසරය ඇතිවයි” ප්‍රසන්න ද පැවසීය.

“ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජිතයන් විදියට අපිට මිනිස්සුන්ගේ කතාවලටත් ඇහුම්කන් දෙන්න වෙනවා. එතැන දී ජනතාව දැරුව මතය තමයි අපිත් නියෝජනය කළේ” ලන්සා කීවේය.

“අපිට කා එක්කවත් පුද්ගලික තරහක් නැහැ. හැබැයි අපි මෙතැන දී බලන්නේ අවුරුදු තුනක් තිස්සේ අපි කරපු සටන දියාරු නොවී ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එකයි. විවිධ කණ්ඩායම් එකතු වෙලා අපේ පැත්ත ශක්තිමත් වෙන්න ඕනේ කියන කාරණය අපි පිළිගන්නවා. හැබැයි ඒ එන අය සේ‍රම අවංක වුවමනාවකින් එන්න ඕනේ” ප්‍රසන්න කීවේය.

“ඒකාබද්ධ විපක්ෂය මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් නම් කරලා තියෙනවද? මම මෙහෙම අහන්නේ මේ ගැන නොයෙක් දෙනා නොයෙක් කතා කියන නිසයි” කංචන ඇසුවේය.

“නෑ එහෙම නම් කිරීමක් නැහැ. මහින්ද මහත්තයා තමයි අපේ අපේක්ෂකයා නම් කරන්නේ” දිනේෂ් පැවසීය.

“මහින්ද මහත්තයා නම් කරන අපේක්ෂකයා පමණයි අපේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ” ප්‍රසන්න පැවසීය.

“අපිට බැහැනේ මිනිස්සු කතා කරන එක නවත්තන්න” දිනේෂ් කීවේය.

“ඒක ඇත්ත. නමුත් මේ රටේ මිනිස්සු ඉන්නේ මහින්ද මහත්තයා එක්ක. මීළඟ ජනාධිපතිවරණයට මහින්ද මහත්තයට තරග කරන්න පුළුවන්ද බැරිද කියන එක නීතිමය වශයෙන් තවම විසඳිලා නැහැ. එතුමා ඉල්ලුවේ නැත්නම් අපි සහාය දෙන්නේ එතුමා නම් කරන කෙනෙකුට පමණයි” ප්‍රසන්න තදින් කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම අඟහරුවාදා සවස පහට පැවැත්වුණේ විජේරාම පෙදෙසේ නිල නිවසේදීය. ඒ මහින්දගේ ප්‍රධානත්වයෙනි. පක්ෂ නායකත්වය රැස්වීමට පෙර ප්‍රසන්නට පණිවිඩයක් ලැබු‍ණි. ඉන් කියැවුණේ මහින්ද ප්‍රසන්න හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් මඳක් වේලාසනින් පැමිණෙන ලෙසය.

ඒ අනුව ප්‍රසන්න පක්ෂ නායක රැස්වීමට මිනිත්තු හතළිස් පහකට පෙරාතුරව මහින්දගේ නිල නිවසට පැමිණි අතර අනතුරුව මහින්ද සහ ප්‍රසන්න පමණක් සහභාගී වූ සාකච්ඡාවක් පැවැත්වුණි. දේශපාලන කරුණු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ බව හැර සාකච්ඡාවේ තො‍රතුරු කිසිවක් අනාවරණය කෙරුණේ නැත.

එම සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රසන්න ද කැටුව පක්ෂ නායක රැස්වීමට පැමිණි මහින්ද ප්‍රසන්න තමා අසළින්ම වාඩි කරවා ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට අසන බව දිනේෂ් කීවේය.

“එක එක කණ්ඩායම් කියලා අරගෙන හරියන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම තමයි පොදුජන පෙරමුණේ කියන්නේ. ඒ හින්දා දහයේ කණ්ඩායම, දහසයේ කණ්ඩායම කියලා නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම විදියට ඒ අය ඒකාබද්ධ විපක්ෂයට එනවා නම් පොහොට්ටුවට එකතු වෙන්න ඕනේ. එහෙම බැරි නම් දිනේෂ් ඔයා ඒ අය කරත්ත රෝදෙට අරගන්න” මහින්ද පැවසීය.

” නෑ සර් මම කිව්වේ ඒ අයගේ ඉල්ලීම” දිනේෂ් කීවේය.

“ඒක තමයි එනවා නම් එන්න ඕනේ ඒ විදියට. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්නවා නම් අපිට ඒ ගැන සලකලා බලන්න පුළුවන්. මොකද අපිත් විපක්ෂය නියෝජනය කරන නිසා. ඒ හින්දා දිනේෂ් ඒ අය එක්ක ඒ ගැන සාකච්ඡා කරලා බලන්න” මහින්ද එම කාරණය දිනේෂ්ට පැවරීය.

පසුගිය බ්‍රහස්පතින්දා මහින්ද මහනුවර ගියේ කටයුතු කිහිපයක් වෙනුවෙනි. කෙහෙළියගේ නිවසට ගිය මහින්ද නුවර මුස්ලිම් ජනතාව සමඟ ඉෆ්තාර් උත්සවයකට ද සහභාගී විය. මුස්ලිම් ජනතාව විශාල පිරිසක් ඒ සඳහා සහභාගී වී සිටි අතර තමන්ට මුහුණදෙන්නට සිදුව ඇති ප්‍රශ්න ඔවුහූ මහින්දට කීහ.

“අද වෙනකොට අපේ ව්‍යාපාර සේරම බිඳවැටිලා. ඩොලරය රුපියල් 160ට ගිහින් තියෙන නිසා තවදුරටත් ව්‍යාපාර කරන්න අමාරුයි” ඔවුහූ මහින්දට පැවසූහ.

“මේ අයට ව්‍යාපාර ඥානයක් නැහැ. එයාලා දන්නේ තියෙන දේවලුත් විකුණලා දාන්න විතරයි” කියමින් මහින්ද ඔවුන් අස්වැසුවේය.

“කොහොමද දැන් තරුණ පෙරමුණේ කටයුතු එහෙම? මහින්ද ඇසුවේ දිලුම්ගෙනි.

“හොඳින් කරනවා සර්. අපි දැන් තරුණ සංවිධාන දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවන්න තීන්දු කරලා තියෙනවා. ඒක මාතරින් පටන් ගන්නවා. මේ ආණ්ඩුවට උදව් කරපු හැමෝම කළේ බොරුවෙන් තරුණයන් රවට්ටපු එක විතරයි. අපි ඇත්ත කියලා දීලා තරුණයන් අපේ පැත්තට නම්මා ගන්න කටයුතු කරනවා” දිලුම් පැහැදිලි කළේය.

“අපේ ගමන යනකොට අපිට තරුණයන් අමතක කරන්න බැහැ. අලුත් තරුණ ඡන්ද මැතිවරණයක දී තීරණාත්මකයි. ඒ නිසා හොඳට හොයලා බලලා මේ කටයුතු කරන්න” මහින්ද උපදෙස් දුන්නේය. එතැන සිටි මුස්ලිම් තරුණයන් ද තරුණ සංවිධානයට බැඳීමට කැමැත්ත පළ කළ අතර දිලුම් ඔවුන්ට කීවේ ඕනෑම කෙනකුට එම සංවිධානය සමඟ එකතු වීමට තහනමක් නැති බවය.

සිකුරාදා සවස කුරුණෑගල බලා ගිය මහින්ද සෙනසුරාදා උදෑසනම අනුරාධපුරය බලා පිටත්ව ගියේ එදින ඡන්ම දිනය සමරන පල්ලේගම හේමරතන හිමියන් බැහැදැකීමටය. නාහිමියන්ට උපන් දින සුබපැතුම් එක් කළ මහින්ද උදෑසන ආහාරය ගත්තේ චන්ද්‍රසේන, ෂෙහාන් සහ එස්. එම් රංජිත් සමඟය.

“කොහොමද දැන් ඔයාලගේ හිටපු කෘෂිකර්ම ඇමැතිතුමා වාරිමාර්ග කටයුතු හරියට කරනවද? කෘෂිකර්මය දියුණු වෙලාද? මහින්ද ඇසුවේ චන්ද්‍රසේනගෙනි.

“මොන පිස්සුද සර්? අපේ ගම්වල මිනිස්සු බයවෙලා ඉන්නේ මේ මනුස්සයා කෘෂිකර්මෙත් කාලා දැන් වැව් අමුණු ටිකත් විනාශ කරලා දායි කියලා. එයා ගැන ගොවියන්ට කිසිම විශ්වාසයක් නැහැ” චන්ද්‍රසේන කීවේය.‍

“එයා බර්ටි ඇමැතිතුමාගේ නමත් එක්ක කෑවා” එච්. බී. සේමසිංහ පැවසීය.

“ඔයාලා තමයි ඉස්සරහට ඕවා බලාගන්න ඉන්නේ. කෘෂිකර්මය, වාර්මාර්ග කටයුතු ගැන දැන් ඉඳලම හොයලා බලන්න” මහින්ද එසේ උපදෙස් දුන්නේ ෂෙහාන්ටය.

අනුරාධපුරයේ සිට මහින්ද හොරොව්පතාන බලා ගියේ පළාත් සභා මන්ත්‍රි හුසේන්ගේ පියා වන රහීම්ගේ සුවදුක් විමසීමටය. මහින්ද හොරොව්පතානේ යාමට තීන්දු කළේ හදිසියේමය. යාමට පැය භාගයකට පමණ පෙර ෂෙහාන් දුරකථනයෙන් හුසේන් අමතා මහින්දගේ පැමිණීම ගැන දැනුවත් කළ අතර එම පැය භාගයට තුන් දහසකට වැඩි මුස්ලිම් ජනතාවක් හුසේන්ගේ නිවසට පැමිණ සිටියේ මහින්ද හමුවීමටය.

හුසේන්ගේ නිවසට ගොස් පියාගේ සුවදුක් විමසූ මහින්දට නිවසින් පිටතට ඒමට විශාල වෙහෙසක් දරන්නට සිදුවුණේ රැස්ව සිටි දැවැන්ත ජනකාය නිසාමය. පැමිණ සිටි සියලුදෙනාටම පාහේ මහින්දත් සමඟ සෙල්ෆි ගස්නනට ඕනෑ වී තිබුණි. මහින්ද එයට ද කැමැත්තෙන් ඉඩ දුන්නේය.

අනතුරුව මහින්ද ගියේ සඳ හිරු සෑයේ ඉදිකිරීම් ගැන සොයා බලන්නටය. යුද ජයග්‍රහණය සැමරීම සඳහා පළාත් නවයේ ඉදිකිරීමට නියමිතව තිබුණු චෛත්‍ය නවයෙන් පළමුවැන්න වන සඳ හිරු සෑයේ ඉදිකිරීම් කටයුතු යහපාලන ආණ්ඩුව යටතේ මන්දගාමීව සිදුකෙරෙන අන්දම මහින්ද නිරීක්ෂණය කළේය.

“මේක හැදුවා කියලා තමයි මාවයි ගෝඨාභයවයි මහින්ද මහත්තයාවයි හිරේ දාන්න හැදුවේ. ‍මම මෛත්‍රීටත් කීපවතාවක්ම කිව්වා මේක හදන්න කියලා. හැබැයි එයාගේ උනන්දුවක් නැහැ. අපි ආපු ගමන් මේකේ වැඩ ඉවර කරනවා” මහින්ද පැවසීය.

“සර් බලායේ හිටියා නම් මෙලහකටත් මේක හදලා ඉවරයි” එස්. එම්. පැවසීය.

එදින සවස එස්. එම්ගේ නිවසේ සාදයක් පැවැත්වුනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවෙනි. පළාත් සභා මැතිවරණය ලබාගැනීම සඳහා රට තුළ මතයක් ගොඩනැංවීමට මූලික වී කටයුතු කරන්නැයි මහින්ද මෙහිදී එස්. එම්. රංජිත්ට උපදෙස් දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් නාමල්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණේ අඟහරුවාදාය. තරුණ සංවිධාන ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැඳවා තිබුණු මෙම හමුවට ෂෙහාන්, ඩී. වී, පියල්, කංචන, ඉන්දික, රණවීර, දිලුම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

“නාමල් මන්ත්‍රිතුමා ජපානේ ගිය වෙලාවේ ෆුජියාමා නැග්ගේ නැද්ද? ෂෙහාන් ඇසුවේය.

“මම නම් නැග්ගා හැබැයි රොෂානුයි පියලුයි නම් ආවේ නැහැ” නාමල් පැවසීය.

“අපේ ඩී. වීත් ආවේ නැද්ද? ෂෙහාන් ඇසුවේය.

“මම නම් නැග්ගා. නාමල් මන්ත්‍රිතුමාගේ පස්සෙන් වැටී වැටී හරි මම උඩටම ගියා” ඩී. වී පිළිතුරු දුන්නේය.

“ඔව් ඉතින් උඹ කොහොමත් වැටි වැටී හරි නාමල් මන්ත්‍රීතුමාගේ පස්සෙන්නේ යන්නේ” කියමින් මන්ත්‍රීවරු මෙහිදී ඩී. වී ට විහිළු කළහ.

පසුගිය සතියේ කාගෙත් අවධානයට යොමු වූ වැදගත් සිද්ධිය වූයේ ගෝඨාභයගේ ඡන්ම දින සැමරුමය. ඡන්ම දිනය නිමිත්තෙන් කොළඹ පුරාම පෝස්ටරයක් අලවා තිබුණේ ගෝඨාභයට සුබපතමිනි. එදින ගෝඨාභයගේ නිවසේ පැවැති දානමය පිංකමට පැමිණි හිතවතකු  එම පෝස්ටරයක් ගලවා ගෙන විත් ගෝඨාභයට දුන්නේය.

එම දානමය පිංකමට මහින්ද, බැසිල්, චමල් ද පැමිණ සිටි අතර ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රසන්න, පවිත්‍රා, රෝහිත ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ. ඒ හැර නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම නියෝජනය කරන තිලංග, දයාසිරි, ජෝන් ද පැමිණ සිටියහ. ගෝඨාගේ නිවසට මුලින්ම ආවේ බැසිල්ය. බැසිල් ආ ගමන් කළේ දානයේ සංවිධාන කටයුතු යනාදිය හරියාකාරව සිදුව ඇත්දැයි සොයා බැලීමය.

අනතුරුව මහින්ද පැමිණියේය. තිලංග, දයාසිරි ඇතුළු පිරිස දානමය පිංකමට පෙරත් පසුවත් මහින්ද, ගෝඨා, බැසිල් සමඟ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ ද අදහස් හුවමාරු කරගන්නා ආකාරය දකින්නට ලැබුණි. ඇතැම් අවස්ථාවල දීර්ඝ කතාබස් දෙපිරිස අතර හුවමාරු විය.

දානමය පිංකමට වැඩම කර සිටි කොටුගොඩ ධම්මාවාස නාහිමියන් අනුශාසනාවේ දී සඳහන් කළේ රටට වැඩ කළ රාජපක්ෂවරුන්ගේ සමගිය රටටම ආදර්ශයක් බව කියමිනි. වෙඬරුවේ උපාලි නාහිමියන් කීවේ අද රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගත හැකි එකම පුද්ගලයා ගෝඨාභය බවය.

මහා සංඝරත්නය දානය වැළඳීමෙන් පසු රෝහිත සහ පවිත්‍රා ආහාර ගැනීමට සැරසෙනු දුටු තිලංග විහිලු කළේ “අපිට ඉතින් යන්න වෙන්නේ මේ අයට පස්සෙන්නේ” කියමිනි. “ඔව් ඔව් අපි මේකේ පෙරගමන්කරුවෝ. ඔයාල ඉතින් පසුගමන්කරුවෝ විදියට පස්සෙන් තමයි එන්න ඕනේ” රෝහිත ද තිලංගගේ දේශපාලන කතාවට එවැනිම පිළිතුරක් දුන්නේය.

දානය අවසන් වූ වහාම බැසිල් නෙළුම් මාවතේ කාර්යාලය ආවේ පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් ප්‍රවර්ධන කටයුතු සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණු නිසාය. ඩලස්, කාංචන ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

“මාතර දිස්ත්‍රික්කයේ වසම් 650ක් තියෙනවා. අපි බලාපෙරොත්තු වෙනවා අගෝස්තු මාසය අවසන් වීමට පෙර සියලුම වසම්වල ශාඛා සමිති ප්‍රතිසංවිධානය කරන්න” ඩලස් පැවසීය.

ඩිලාන් පෙරේරා, තාරනාත් බස්නායක පසුගිය සතියේ මහින්ද මුණගැසුණේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

“රට වෙනුවෙන් ඔයාලා ගන්න තීන්දුවක් ගන්න. අපි තීන්දු ගන්න ඕනේ නායකයෝ ගැනවත් එයාලගේ වටේ ඉන්න අය ගැනවත් හිතලා නෙමෙයි ජනතාව ගැන හිතලයි. අද මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ එයාලා හැමතිස්සෙම තීන්දු ගන්නේ තමන්ගේ වටේ ඉන්න අය ගැන හිතලා ‍වීමයි” මහින්ද පැවසීය.

“ඒකනේ සර් අගමැතිතුමා 66 වතාවක් දෙණියායට ගිහින් තියෙන්නේ. ඒකෙන්ම පේනවානේ එතුමා වටේ ඉන්න අය ගැන කොච්චර හිතනවද කියලා” ඩිලාන් පැවසීය.

අඟහරුවාදා පාර්ලිමේන්තු කටයුතු නිම වී නිවස බලා යාමට මන්ත්‍රී පිවිසුම වෙත පැමිණි සනත් නිශාන්තට එතැන සිටි හෙක්ටර් අප්පුහාමි සහ බන්දුලාල් බණ්ඩාරිගොඩ මුණගැසුණේය. හෙක්ටර්ට අත වනා යාමට සනත් සැරසුණත් එය නොදුටු බණ්ඩාරිගොඩ සනත්ගෙන් ඇසුවේ මොකද මේ එකම දිස්ත්‍රික්කයේ අය දැකලත් අහක බලන් යන්නේ, මනාප ප්‍රශ්නයක්වත්ද කියාය.

“අපෝ එහෙම දෙයක් නැහැ. හැබැයි ඔබතුමාලට මේ පාරවත් මොකුත් ලැබුණේ නැහැ නේද? සනත් ඇසුවේය.

“අපි ඕවා ගණන් ගන්නේ නැහැ. ලැබෙන වෙලාවට ලැබෙයි” හෙක්ටර් උත්තර දුන්නේය.

“ඔයාලට ආණ්ඩුවක් තිබිලත් කිසිම සැලකීමක් නැහැ. හැබැයි අපේ මහින්ද මහත්තයා නම් අපිට ආණ්ඩු තිබුණත් නැතත් අපිට හිමිතැන දීලා උදව් උපකාර කළා. ඔයාලගේ නායකයන්ටත් තියෙන්නේ එතුමගෙන්වත් ඉගෙන ගන්න” යැයි කියමින් සනත් පිටත්ව ගියේය.

SHARE