අනුන්ගේ ගොඩෙන් සොරකම් කර තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට දක්ෂ කණ්ඩායමක් ලෙසින් යහපාලනය තවත් විටකදී නිර්වචනය කළ හැක. මෙසේ පැවසීමට විශේෂම හේතුව වන්නේ පහුගිය කාලය පුරාවටම සිදු කල සියල්ල තමාගේ යැයි කියා ගනිමින් සිටින නිසාය. මීට ළගම උදාහරණය වන්නේ පසුගිය දා ජනාධිපති සිරිසේන විසින් යුද්ධය අවසන් කළේ තමා දසමහ යෝධයෙක් ලෙසින් සිටි නිසා බැව් පැවසීමය. මේවාට කොහෙන් හිනා වෙන්නදැයි අපි නොදනිමු. කෙසේ වෙතත් කකුළු පැටවුද ඇදටම යන්නාසේ අතේ පැලවෙන පට්ට පල් පචයක් අතඅරිමින් මේ දින ජනතාව නොමග යවන ටි.එන්.ඒ. එකේ ප්‍රචාරණ කටයුත්තක් ඇත.

ඒ උතුරු නැගෙනහිර නිවාස 50,000 වියාපෘතිය දමිළ ජාතික සන්ධානය විසින් ලබා ගත් වියාපෘතියක් බව සදහන් කරමින් එය ඔවුන්ගේ මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට යොදා තිබීමය. ටි.එන්.ඒ ය උතුරට කළ සංගෙඩියක් නැත. ඒ බව අද දිනයේදී කථා කරන විට අපූරුවට උතුරේ ජනයා ලුණු ඇඹුල් ඇතුව කියා දෙන්නේය. මෙම නිවාස වියාපෘතිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේදී සිදු වුවකි. ඒ උතුරු නැගෙනහිර අවතැන්ව සිටින දමිළ ජනතාව වෙනුවෙන්ය. ඒ සදහා පාර හදන්නේ ඊ.පි.ඩි.පි නායක ඩග්ලස් දේවානන්දය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඊ.පි.ඩි.පි නායක ඩග්ලස් දේවානන්ද මහතා ඒ අනුව ඉංදියාවට ගොස් මේ පිළිබදව ඉන්දීය ජනාධිපති සහ ඉන්දියානු අමාත්‍ය පී.සිදම්බරම් සමග සාකච්චා කර ලබා ගත් එකගතාවයකට අනුව එම නිවාස එකගතාවය මෙරටට ලැබුණි. වත්මනේ කෙරෙන්නේ විදෙස් ආධාර කියමින් විදේශ සංචාර යෑම පමණි. කිසිවකුත් මෙතෙක් වත්මන් අගමැති සහ ජනාධිපතිවරයා ගිය සංචාර පිළිබද විමර්ෂණය කට නැත. කථා කර නැත. හොයන්නේ පසුගිය රජය ගිය සංචාර පමණි.

මේ කෙලපු කෙප්පේ දින වකවානු අනුව හරියට පැවසුවහොත් ඒ  2010.10.06 වනදාය. මෙය සිදු වන්නේ ඩග්ලස් දේවානන්ද මහතාගේ ඉල්ලීමකට අනුව බවද කිව යුතුය.  මේ පිළිබදව අදහස් දක්වමින් ඩග්ලස් දේවානන්ද මහතාද ප්‍රකාශ කර තිබුණේ මෙය ඔවුන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොස් සිදු කළ වියාපෘතියක් බවත් දමිළ ජාතික සන්ධානය එසේ සිදු කළත් සත්‍ය ජනතාව දන්නා බවය. මෙසේ කථා කර එකගව තිබූ මෙම නිවාස 50,000 වියාපෘතිය සදහා වෙන්කර තිබූ මුල්‍යමය ප්‍රතිපාදන ලැබී නිවාස ඉදි වන්නේ මෙම රජය සමයේදීය.

අනුන් කරන දේවල් වලට තම කොඩිය දමා ඒවා රැජින මමයි කියා පීත්ත පටිය කැපීමට හැර වෙන දෙයක් වත්මනේ කිසිවකුත් නොදන්නේය. එවන් අපුරු දක්ෂතාවයක් හැර වෙනත් දක්ෂතා වත්මන් යහපාලනයේ නම් නැත. එවන් රජයක ගෝල බාලයන් වෙමින් දමිළ ජාතික සන්ධානය මිනිසුන් නොමග යැවීම සදහා මෙවන් අසත්‍ය ප්‍රකාශ සිදු කරගෙන යති. කෙසේ වෙතත් උතුරේ ජනතාව උතුරේ සංවර්ධනය සදහා කැපවූයේ කවුද යන්න පිළිබදව හොදින් දැනුවත්ය. ඒ නිසා මෙවර ජන්දයේ ප්‍රථිපල උතුරේ වෙනස් වනු නොඅනුමානය. අපගේ තර්කයට අනුව මේ වන විට ඊ.පි.ඩි.පි. ය කරට කර තරගයක් දෙනු ඇත. නමුත් වාර්ගිකත්වය හමුවේ මිනිසුන්ගේ අභ්‍යන්තර අදහස් කෙසේ සිදු වන්නේද යන්න මැතිවරණ ප්‍රථිපල පල වන තුරු අපට කිව නොහැකි වන්නේ අනාවැකි පල කිරීමේ අසාමාන්‍ය හැකියාවක් අප සතු නොවන නිසාය. කෙසේ වෙතත් ටි.එන්.ඒ ය සියයට 55 සමග ඊ.පි.ඩි.පි සියයට 45 කටවත් සමීප වනු හෝ ජයග්‍රහණයට එන මට්ටමක් පෙනෙන්නට තිබේ.

මේඝා චින්තාමණි යාපනයේ සිදු කළ ගවේෂණයකින් ලියන ලිපි.

SHARE