පළාත් පාලන මැතිවරණය දා මහින්ද සිටියේ තංගල්ලේය. උදෑසන ඡන්දය පාවිච්චි කළ මහින්ද තංගල්ල කාල්ටන් නිවසට වී බලාපොරොත්තුවෙන් සිටියේ ප්‍රථිපල නිකුත් කෙරන තුරුය. ඒ අතර බැසිල් රාජපක්ෂ නෙළුම් මාවතේ කාර්යාලයට වී මැතිවරණ ප්‍රථිපල ලබා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටියේය.

මැතිවරණ ප්‍රථිපල කඩිනමින් ලබාගැනීම සඳහා බැසිල් විශේෂ වැඩපිළිවෙළක් යොදා තිබුණි. මෙවර මැතිවරණයේ දී ඡන්ද මධ්‍යස්ථාන වලම ඡන්ද ගණන් කෙරුණු අතර එම මධ්‍යස්ථාන වල  රැඳී සිටි‍ නියෝජිතයන් හරහා වයිබර් සහ වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඡන්ද ප්‍රථිපල ලබා ගැනීමට බැසිල් සැලසුම් කර තිබුණි.

ඒ අනුව මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රථිපල නිකුත් ‍කිරීමේ ප්‍රමාදයක් තිබුණ ද බැසිල්ට කල්තියා ප්‍රථිපල දැනගැනීමට හැකියාව ලැබුණි. රාත්‍රී 10 පමණ වන විට බැසිල් දැන ගත්තේ පොහොට්ටුව මුළු රටෙන්ම අතිවිශිෂ්ට ජයක් ලබා ඇති බවයි.

පාලන ආයතන 232ක් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙන බව බැසිල් මහින්දට දැනුම් දුන්නේය. මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අමතා බැසිල්ගේ පණිවිඩිය කීවේය.

ඒ වන විටත් පත්තලගෙදර ඡන්ද මධ්ය්ස්ථානයේ රැඳී සිටි ප්‍රසන්නටද මහින්දගෙන් ඇමතුමක් ලැබුණි. බැසිල්ගෙන් ලැබුණු පණිවිඩය දැනුම් දුන් මහින්ද ,කොහොමද ප්‍රසන්න ගම්පහ යැයි ඇසුවේය.

“හොඳයි සර් අපි දැන් ගොඩක් ඉස්සරහින් ඉන්නේ, ප්‍රසන්න පැවසීය.

“ඒක හොඳයි”. ගම්පහ දිනුම් කියන්නේ අපි රටම දිනනවා කියන එක. කොච්චර විතර බහුතරයක් තියෙනවද?  මහින්ද ඇසුවේය.

“දැන් ලක්ෂ දෙකහමාරක් විතර ඉස්සරහින්, ප්‍රසන්න පැවසු අතර ඒ ගැන සතුට පළ කළ මහින්ද දුරකථනය විසන්ධි කළේය. මධ්‍යම රාත්‍රිය පසු වන තුරු ද ප්‍රථිපල නිකුත් නොකිරීම නිසා මහින්ද කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය හර්ෂ ‍විජේවර්ධනට ඇමතුක් ගත්තේ මීට පෙර මැතිවරණ ප්‍රථිපල නිකුත් කිරීමේ පරිගණක ක්‍රියාවලියේ දෝෂයක් ඇතැයි යන ආරංචියටය.

මීට පෙර මැතිවරණ ප්‍රථිපල නිකුත් කිරීමේ පරිගණක මෙහෙයුම භාරව සිටියේ කොළඹ විශ්ව විද්‍යාලයේ  වුවත් මෙවර ඔවුන් එයින් ඉවත් කර තිබුණි. මහින්දගේ විමසුමට පිළිතුරු වශයෙන් හර්ෂ පැවසුවේ මෙවර මැතිවරණ ප්‍රථිපල නිකුත් කිරීම භාරව සිටින්නේ තමන් නොව කැළණිය විශ්ව විද්‍යාලය බවය.

ජන්දයදා රාත්‍රියේ මොකද වුණේ

ඡන්දා රාත්‍රියේ ප්‍රසන්නට ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුගෙන්ම දුකරථන ඇමතුම් ලැබුණි. පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණයට  සුබ පැතූ එම දෙදෙනා ප්‍රසන්නය පැවසුවේ ආණ්ඩුව වෙනස් විය යුතු බවය. “දැන් අපි මෛත්‍රී ජනාධිපතිතුමාට දැඩිව කියනවා අනිවාර්යෙන්ම මහින්ද මහත්තයා අගමැති ධූරයට පත් කළ යුතුයි කියලා. ඒ විතරක් නෙමෙයි මහින්ද මහත්තයට පක්ෂ සභාපතිකමත් භාර දිය යුතුයි”. ඔවුහූ කී‍හ.

“දැන්වත් ඔබතුමාලා තේරුම් ගන්න මෙච්චර කල් ඔබතුමාලා හිටපු තැන වැරැදියි කියලා. ඔබතුමාලගේ නායකයාට ඒක පැහැදිලි කරලා කියන්න”. ප්‍රසන්න පැවසීය.

“ඒක ඇත්ත. අපි මේ වෙනුවෙන් දැඩිව පෙනී හිටිනවාග. අපි ජනාධිපතිතුමාට බලපෑම් කරනවා අපේ ආණ්ඩුවක් හදන්න කියලා. එතුමට තේරුම් කරනවා මෙහෙම ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වෙලාම යනවා කියලා, දෙදෙනාම අවධාරණය කළහ.

ඉරිදා සවස් වන විටත් සමස්ථ ප්‍රථිපලය නිකුත් නොකෙරුණත් පොහොට්ටුවේ ජයග්‍රහණය ගැන ඒකාබද්ධ විපක්ෂයට සැකයක් තිබුණේ නැත. ප්‍රසන්න ඉරිදා සවස මහින්ද හමුවීමට විජේරාම නිවසට ගියේ සිය දියණිය පසුවදා යළිත් විදේශ ගතවීමට නියමිතව සිටි නිසා ඒ බව පැවසීමටය. ප්‍රසන්න යන විට මහින්ද සිටියේ හිතවතුන් පිරිසක් ද සමඟ කේක් ගෙඩියක් කපන්නට සූදානමිනි. කේක් ගෙඩිය කපන්න පිහිය අතට ගත් මහින්ද , කෝ කෝ මේ ප්‍රසන්න මේ ජයග්‍රහණයේ ලොකුම කොටස්කාරයා එයා තමයි, කියමින් ප්‍රසන්නව  එතැනට කැඳවා ගත්තේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳුදා පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එහිදී විශේෂයෙන්ම සාකච්ඡා කෙරුණේ පොහොට්ටුවට ලැබුණු අතිවිශිෂ්ට ජය  ගැනය.

කොයි බලයත් ජන බලයට යටයි

“අපිට ලැබුණු ජයග්‍රහණයෙන් ආණ්ඩුව හෙල්ලිලා ගිහින් තියෙන්නේ, ප්‍රසන්න කතාබහට මුලපුරමින් කීවේය.

“ඔව් මේක බලාපොරොත්තු නොවුණු ජයග්‍රහණයක් ආණ්ඩුව කිව්වේ මේ පොහොටටුව පිපෙන්නේ නැහැ කියලයි. හැබැයි ඒ කතා සේරම බොරු වුණා, මහින්දානන්ද පැවසීය.

“ඒක නිසයි මම කියන්නේ කොයි බලයත් ජනතා බලයට යටයි කියලා, මහින්ද කීවේය.

“මේක මහින්ද මහත්තයාට ලැබුණු ජයග්‍රහණයක්. ජනාධිපතිවරණයෙන් අවුරුදු තුනක් යන්නත් ඉස්සර දැන් මිනිස්සු ආයෙමත් මහින්ද යුගයක් ආරම්භ කරන තුරු බලන් ඉන්නවා කියලා මේ ඡන්දෙන් පැහැදිලි වුණා, ප්‍රසන්න පෙන්වා දුන්නේය.

“මේ ජයග්‍රහණයෙන් පස්සේ අපිට දැන් විවිධ පණිවිඩ එනවා. අපි මේ ආණ්ඩුව ‍වහාම ගෙදර යවන්න ඕනේ. රනිල්ට තවදුරටත් බලයේ ඉන්න ඉඩ දුන්නොත් රටක් ඉතුරු වෙන එකක් නැහැ, මහින්ද පැවසීය.

“මට ආරංචි වුණා රනිල් කියලා තියනවාලු මේ පාර පත්වෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට පඩි ගෙවන්නේ නොරොච්චෝලේ විකුණලා කියනා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු එක්ක කියලා තියෙනවා කියලා, සනත් හෙළි කළේය.

“ඒක නම් ඇත්ත. රනිල් කොහොමත් උදේට නැගිටින්නේ අද මොනවද විකුණන්නේ කියලා කල්පනා කරගෙනනේ, ඩලස් පැවසීය.

“අපි දැන් රනිල් එලවීමේ වැඩපිළිවෙළ වේගවත් කරන්න ඕනේ. අපිට දැන් ඕනේ මහ මැතිවරණයක්, ප්‍රසන්න පෙන්වා දුන්නේය.

“ඒක ඇත්ත. අපි ඒ වෙනුවෙන් එකතු වෙලා වැඩ කරන්න ඕනේ, මහින්ද ප්‍රසන්නගේ කතාව අනුමත කළේය.

“මට දැනගන්න ලැබුණා අගමැතිවරයා තනි ආණ්ඩුවක් හදන්න නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් ගන්න යන්නේ කෝටි ගණන් සල්ලි දීලා කියලයි, ප්‍රසන්න තව කරුණක් හෙළි කළේය.

“සල්ලි අරගෙනවත් දැන් රනිල් ගාවට යන්න තරම් මෝඩ වෙන්නේ කවුද  සනත් නිශාන්ත ඇසුවේ සිනාසෙමිනි. මේ අතර ඉදිරි දේශපාලන වාතාවරණය දෙස බලා තීන්දු ගැනීමේ බලය මහින්ද වෙත පැවරීමටත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමේදී ආණ්ඩුක්‍රම වියවස්තා සංශෝධනය කිරීමට අවශ්‍ය වුවහොත් ඊට සහය දීමටත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙ‍හිදී තීරණය කළහ.

 

SHARE