මෙවර අය-වැය සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පහළොස් දෙනකු ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් කෝටි දෙක බැගින් ලබා ගත්තේ යැයි එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් මහතා චෝදනා කරනවා.

එය තමන්ට ඔප්පු කළ හැකි බවද හෙතෙම අභියෝග කරයි. මේ සම්බන්ධයෙන් ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයාගෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු මෙසේද පවසනවා.

‘දෙමළ ජාතික සන්ධානය මෙවර අය-වැයට විරුද්ධව ඡන්දය ලබාදීමටයි පළමුව තීරණය කර සිටියේ. ඒ තවමත් අපගේ ජනතාවගේ ඉල්ලීම් ඉටු නොවීම හා යුද්ධයක් රටේ නොමැති පසුබිමක ආරක්ෂක අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන් කිරීමත් යන කාරණා හේතුකරගෙනයි. නමුත් හදිසියේම දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ප්‍රමුඛ පිරිස අය-වැයට සහාය ලබාදීමට තීරණය කළා.

මේ පිළිබඳව සොයා බැලීමේදී තමයි මෙම සිදුවීම මට හෙළි වුණේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රතිපාදන ලෙස හිමි වනුයේ කෝටියක මුදලක් පමණයි. නමුත් මා හැර දෙමළ ජාතික සන්ධානයේ ඉතිරි මන්ත්‍රිවරු පහළොස් දෙනාට තවත් කෝටිය බැගින් හිමිව තිබෙනවා. ඒ කොහොමද?

එම මුදල වියදම් කිරීමට සැලසුම් කර නැහැ. ඒ අනුව මට පෙනී යනුයේ එය දේශපාලන අල්ලසක් ලෙසයි. මම අය-වැයට විරුද්ධව කතා කළ නිසා මට මේ මුදල ලබාදී නැහැ. මම හිතන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු මේ කළ ක්‍රියාව වැරැදි කියලයි’

SHARE